පොල් මිල පාලනයට අගමැතිගෙන් උපදෙස්

Views: 125

ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට පාරිභෝගික ජනතාව වෙත පොල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

උඳු සහ කහ සඳහා දැනට ඇති ආනයන සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමට ද මෙහි දී අගමැතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සමාලෝචනය සඳහා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ය.

මෙහිදී ටින් මාළු මිල ගණන් පිළිබඳ කුකුල් මස්, බිත්තර මිලගණන් පිළිබඳ සමාලෝචනය සිදුකෙරුණ අතර, දේශීය කිරිපිට නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත්කොට තරගකාරීව පාරිභෝගික ජනතාවට කිරිපිටි ලබා දීමට තීරණය විය.

එසේම එළවළු මිල ගණන් පාලනය කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන භාවිතා කරමින් සහ සතොස ද සම්බන්ධ කරගනිමින් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද අවධානය යොමු කෙරුණ අතර, පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ මිල ගණන් ඉහළ දැමීම සිදු කරන සහ අත් භාණ්ඩවල හිඟයක් ඇතිකරන අතරමැදියන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැතිවරයා අදාළ බලධාරින්ට මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාවට චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ශෙහාන් සේමසිංහ, විදුර වික්‍රමනායක යන මැති ඇමැතිවරුන් ද අගමැති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරුන් සහ ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරිකයින් ද සහභාගී වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 533 - Today Page Visits: 5
Comments: 0

Your email address will not be published. Required fields are marked with *