ජිනීවා අර්බුදයේ අලුත් ගැටලු

Views: 69

ප්‍රසිද්ධ කිරීමකින් තොරවම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය එරට සංචාරක තහනම් පැනවීමට ඉඩ තිබේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය සාකච්ඡාවට ගැනුණු පසුගිය සතියේ ඒ අරබයා යම් බලාපොරොත්තුවක් එසේත් නැතිනම් උද්යෝගයක් තිබුණේ නම්, එම සතිය කිසිදු විශේෂ සිදුවීමකින් තොරව ගෙවී යාම හමුවේ ඒ සියල්ල උපන් තැනම මියැදිණ. වීදිවල කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්විණ. චෝදනා නැගීමක් සිදුනොවිණ. කොටින්ම ඡන්දය විමසීමක් පවා සිදුනොවිණ.

එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලීන්වලට දක්වා තිබෙන සම-අනුග්‍රහකත්වය ශ්‍රී ලංකාව ඉවත් කරගන්නා බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය අගහරුවාදා එම කවුන්සිලය හමුවේ පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන 40-1 යෝජනාවලිය මෙන්ම 2015 ඔක්තෝබර් මස ඉදිරිපත් වූ 30-1 යෝජනාවලිය, 2017 මාර්තු මස ඉදිරිපත් වූ 34-1 යෝජනාවලිය, මෙසේ සම-අනුග්‍රහකත්වය ඉවත් කරගැනීමට අදාළවන යෝජනාවලීන්ය.

මෙසේ සම-අනුග්‍රහකත්වය දැක්වීම සදහා කැබිනට් මණ්ඩලයේ හෝ එවක ජනපතිවරයාගේ හෝ අනුමැතිය ලබානොගත්තේ මන්දැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැහැදිලි නොකළේය. කෙසේවුවත් පිටු 3 කින් යුතු ප්‍රකාශයක් නිකුත් කළ ඔහු එහි මෙසේ සදහන් කර තිබිණ.

යෝජනාවලියේ අවසන් සටහන සම්බන්ධයෙන් වූ සාකච්ඡා බොහෝමයක් සිදුවූයේ දුරකතනය ඔස්සේය. ඒ සංවාද සිදුවූයේ මම සහ ජනපතිවරයා දෙදෙනාම ලැගුම්ගෙන සිටි නිව්යෝර්ක් නුවර හෝටලය සහ කොළඹ සිටි අගමැතිවරයා ඔහු සමග සිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා, එක්සත් ජනපදයේ තානාපතිවරයා සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයා අතර එකඟතාවයක් ඇතිකර ගැනුනායින් පසුව එදා කොළඹ සිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා සමග සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා රජයේ තීරණය ජගත් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නා.

සන්ඬේ ටයිම්ස් යොමුකළ පැනයකට විද්‍යුත් තැපෑල ඔස්සේ පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මාධ්‍ය නිලධාරී රොනාල්ඩෝ ගෝමේස් මෙසේ සදහන් කළේ ය.

මානව හිමිකම් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව යෝජනාවලියක් සම්මත කරගත් පසුව රටකට එම යෝජනාවලියෙන් ඉවත්වන්නට බැහැ. සති දෙකක් ඇතුළත ඉදිරිපත් කැරෙන යෝජනා කෙටුම්පත් සැළකිල්ලට ගෙන එළැඹෙන නිගමනයකින් පසුව, ඉදිරිපත් කැරෙන අමතර සම-අනුග්‍රහකත්වය දැක්වීම් කවුන්සිලය පිළිගැනීමට ඉඩ තිබෙනවා.මෙම කාලසීමාව ඉක්ම ගිය පසු ලේකම් කාර්යාලයට ඉදිරිපත් කැරෙන ඉල්ලීම් සැළකිල්ලට ගැනෙන්නේ නැහැ.

එපමණක් නොව ශ්‍රී ලංකාව ගත් මෙම පියවර සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ කිසිදු ඉහළ නිලධාරියෙක් අනුමැතිය දක්වන ස්වරූපයේ අදහස් දැක්වීමක නිරතව නොමැත. මානව හිමිකම් මහකොමසාරිනී මිෂෙල් බැෂෙලොට් එය ඉතාම කණගාටුදායක යැයි හදුවාදුන්නා පමණි.වෙනත් නියොජිතයින් ද, ඔවුන්ගේ අදහස් දැක්වීම්වල දී, ඊට වැඩි යමක් නොකීවේය. කැනඩා විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රැන්කොටිස් ෆිලිපේ චැම්පේන්, කැනඩාව කණගාටුවට පත්වන බව කීවේ ය.තවද, මෙම යෝජනාවලිය ඉදිරිපත් කළ එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වූ අතර, අද වන විට එරට එහි සාමාජිකයෙක් නොවේ.

නමුත් ජිනීවා කාරණය පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට අත්‍යාවශ්‍යයෙන්ම ලබාගත යුතුව තිබූ සාර්ථකත්වයක් විය.ශ්‍රී ලංකාව සම්බන්ධව මිතුරු පිළිවෙතක් අනුගමනය කරන රටවල් මෙරට නව පිළිවෙත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ලැබුණු අවස්ථාව භාවිතයට ගැනීමට අමතරව, කවුන්සිලයේ කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග එක්වූ ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ නව ස්ථාවරය සම්බන්ධයෙන් රටවල් බොහෝමයක නියෝජිතයන් දැනුම්වත් කළේ ය.ජිනීවාහි දී, කියන කරන ලද දේවල් ඉදිරි සති කිහිපයේ දී, දිවයින පුරා ඉදිවනු ඇති මැතිවරණ වේදිකාවලින් ඇසෙනු ඇත.කොටි ත්‍රස්තයින් පරාජයට කිරීමට හමුදා නායකත්වය දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ජාතික වුවමනාවක් විකිණීම නවතා දැමීමට හැකිවූ බව, එම වේදිකාවල කියැවෙනු ඇත.

රජයේ ස්ථාවරය ඉතාම පැහැදිලිය.පැවැති යහපාලන රජය සමග එක්වූ බටහිර රටවල් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාවට පහර ගැසීමට පෙරට පැමිණියේ ය.නමුත් දැන් එසේ දැක්වූ සම-අනුග්‍රහකත්වයෙක් ඉවත්වීමට රජය කටයුතු කර තිබෙන හෙයින්, ආරක්ෂක අංශවල හොද නම රැකගැනීමට හැකිව ඇත.ඒ ආකාරයෙන්ම ඔවුන් හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනාරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් ද, පෙනී සිටිනු ඇත.ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එක්සත් ජනපදයේ සංචාරය කිරීම තහනම් කිරීමට වොෂින්ටනය පියවර ගෙන තිබේ.එක්සත් ජනපදයේ අනුග්‍රහකත්වය යටතේ ඉදිරිපත් වූ යෝජනාවලියට එකට එක කිරීමක් රජයේ වුවමනාවය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමට පියවර ගනු ඇතැයි කොළඹ පදනම්ව කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව බියට පත්ව සිටී.ප්‍රමුඛ පෙලේ පුද්ගලයින්ට සහ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට එරෙහිව තවත් සංචාරක තහනම් නිකුත් කැරෙනු ඇතැයි ඔවුන් පවසයි.නමුත් මෙවර ඒවා වැඩි ප්‍රසිද්ධියක් නොමැතිවම සිදු කැරෙනු ඇති බව ඔවුන් කියයි.

එයට එක් හේතුවක් ලෙස, මෙරටට ඩොලර් ලක්ෂ 4800ක මුදල් ප්‍රමාණයක් පිරිනැමීමට නියමිත වූ එම්.සී.සී ගිවිසුම අත්සන් නොකිරීමට පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, රජය ගත් තීරණය හදුනාගැනෙමින් තිබේ.රජය එවැනි තීරණයකට එළැඹුනේ නිල වශයෙන් පත්කළ කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ සැළකිල්ලට ගැනීමෙන් පසුවය.රජයේ නිල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් සොයාගැනීමට රටට ද්‍රෝහීවීමට රජය කිසිදු විටෙකත් කටයුතු නොකරන බව අවධාරණය කළේය. කෙසේවුවත්, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා තරමක් මෘදු ස්වරයකින් අදහස් දක්වමින්, ගිවිසුම් කෙටුම්පතේ සදහන් වන ඇතැම් කාරණා සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරන බව පැවසුවේ ය.එම සාකච්ඡා සාර්ථක වුවහොත්, ගිවිසුම ඉදිරියට අනුමැතිය ලබාගැනීමට එය ඉදිරිපත් කරන බව ඔහු කීවේය.

මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට කලබලයකින් තොරව මුහුණදීමට හැකිවීමෙන් එක්සත් ජනපදය අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ සහ, දැන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබෙන, යෝජනාවලියෙන් මතුවන ගැටලු අවසාන වූ බවක් කිසිදු ලෙසකින්වත් අදහස් නොවේ.එම යෝජනාවලිය ප්‍රකාරව ඉටුකිරීමට ඉතිරිව තිබෙන පොරොන්දු ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන කාලය ලබන වසරෙන් අවසන් වේ. එම කාරණයත්, ඉදිරියේ ගතයුතු පියවර සම්බන්ධයෙන් සම-අදහස් දරන බටහිර රටවල් එකතුව තීරණයක් ගනු ඇති නිසාත්, 2021 මාර්තු පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන් ශ්‍රී ලංකාව අතිශයින් තීරණාත්මකය.

පාර්ලිමේන්තු මැතිවරණය සැළකීමේ දී, ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ පැන නැගී තිබෙන ගැටලු අරබයා රජය අත්පත් කරගත් ‘වාසි‘, රජයට වැඩි බලපෑමක් එල්ල නොකරනු ඇත.ඔවුන් නිසැක ජයක් ලබන බව සහතිකය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උත්සාහ කරමින් සිටින්නේ වැඩි ආසන ප්‍රමාණයක් දිනාගැනීමටය.

නමුත්, අවධානය යොමුකළ යුතුව තිබෙන කාරණා කිහිපයක්, විශේෂයෙන්ම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ මිග් යානා ගනුදෙනුව සහ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ එයාර්බස් ගනුදෙනුව වැනි, පවතින බව සදහන් කළ යුතුය.ක්‍රියාකාරී විපක්ෂයක් නොමැතිවීම එකකි.යහපාලන රජය බලයේ සිටි අවදියේ ඔවුන් කටයුතු කළේ වංචනිකයන් හා දූෂිතයින් නොදැක්කා සේය.නමුත් ජනපතිවරණ සහ මැතිවරණ වේදිකාවේ ඔවුන් අදහස් දැක්වූයේම වංචාව සහ දූෂණය ගැනමය.පොරොන්දු දුන්නේ වංචනිකයන් හා දූෂිතයින් නීතිය හමුවට ගෙන එන බවටය.නමුත් එම පොරොන්දු ඒ අයුරින් ඉෂ්ඨ කිරීමට නොහැකි වූ තැන, පැවැති රජයේ සිට යහපාලන රජය හා එක්වූ ඇතැමෙක්ට කෝටිපතියන් නොව ප්‍රකෝටිපතියන් පවා වීමට අවස්ථාව සැළසිණ.ඔවුන් ඇතැමෙකුගේ තතු ළගදීම අනාවරණය වනු ඇත.කෙසේවුවත්, එකක් පසුපස එකක් වාර්තාවෙමින් තිබෙන විවිධ සිදුවීම්වලින් ඉහත පුද්ගලයින් හා අදාළ කාරණා වැසී යමින් තිබේ.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

Total Page Visits: 67 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *