වසර 4කට පසු ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20න් අද හැප්පෙයි

Views: 88

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග 2කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (4) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7.00ට පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විස්සයි20 තරග සඳහා හඳුන්වාදෙන නව නිල ඇඳුම සමගින් ශ්‍රී ලංකා පිල මේ තරගයට එක්වෙයි.

මේ දෙපිල විස්සයි20 තරගයකට එක්වන්නේ වසර 4කට පසුව වීම විශේෂත්වකි. අවසන් වරට 2016 වසරේ මාර්තු 20 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් හිදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී මේ දෙපිල හමුවූ අතර ඉන් කඩුලු 7ක ජයක් කොදෙව්වන්ට හිමිවිය. එවර ලෝක කුසලානය දිනා ගත්තේද කොදෙව්වන් විසිනි.

එම තරගයට එක්වූ ක්‍රීඩකයන් අතරින් මෙවර දෙපිලෙන්ම එක්ව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා පමණි.

මේ දෙරට ද්වීපාර්ශ්වික තරගාවලියකට එක්ව ඇත්තේ 2015 වසරේදී පමණි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තරග 2කින් සමන්විතවූ එම තරගාවලියේදී පල්ලේකැලේ පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායමත්, ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තරගය කොදෙව් පිලත් ජය ගැනීමට සමත්ව ඇත.

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේදී 9 වරක් මේ දෙපිල හමුවී ඇති අතර ඉන් තරග 6ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලසිත් මාලිංග එම තරග නවයෙන් 3ක් මෙහෙයවා ඇති අතර ඉන් 2ක ජය ශ්‍රී ලංකාව සතුවී තිබේ.

මේ තරගාවලිය ශ්‍රී ලංකා සංචිතයට එක්කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අහිමිවී තිබේ. ප්‍රදීප් පසුගියදා නිමාවූ තෙවැනි එක්දින තරගයේ පන්දු යවමින් සිටියදී කලව ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට සති 6ක විවේකයක් ගැනීමට වෛද්‍යවරු නිර්දේශකර තිබේ. ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත. 22 හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් හිමිකර ගෙන නැත. එමෙන් ධනංජය ද සිල්වාට මේ තරගාවලිය අහිමිවී ඇත්තේ ශල්‍යකර්මයක් හේතුවෙනි. ඔහු වෙනුවට කිසිදු ක්‍රීඩකයකු ආදේශ නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

එක්දින තරගාවලිය පරාජය වීම හේතුවෙන් කොදෙව්වන් මේ තරගාවලිය ජය ගැනීමට සිය උපරිම උත්සාහය යොදනු ඇත. ඒ වෙනුවෙන් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් සමගින් ශිම්රන් හෙට්මෙයර් සහ එවින් ලුවිස් ද කැඳවා ඇත. එක්දින තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවූ කිරන් පොලාඩ් ම මේ තරගාවලියේදීත් කොදෙව් පිලට නායකත්වය ලබාදෙයි.

මේ අතර තරගාවලිය පිළිබඳ ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පැවැසුවේ තමන් හැර සංචිතයේ සිටින සියළුම සාමාජිකයන් එක්දින තරගාවලියට ක්‍රීඩා කළ බැවින් මේ තරගාවලියට විශේෂ සූදානමක් නැති බවත් ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් දෙදෙනා හැරුණු කොට මෙරට සිටින හොඳම ක්‍රීඩකයන් 15 දෙනා මේ තරගාවලියට තෝරා ගෙන ඇති බවට තමන් විශ්වාසය කරන බවත්ය.

‘මේ තරගාවලියට විශේෂ සූදානමක් නෑ. මොකද ඊට කළින් මම ඇරෙන්න ඉන්න සියළුම ක්‍රීඩකයන් එක්දින තරග ක්‍රීඩා කළා. ඉතිං ඒ නිසා ඒගොල්ලෝ මේ කන්ඩිෂන් එක්කම මේ පුහුණුවීම්කාරීත්වයත් එක්ක ඔවුන්ගේ දක්ෂතා අතරට එන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතිං දවස් දෙකකට පස්සේ තව තරගයක් පැවැත්වෙනවා. මං හිතනවා කළින් එක්දින තරග ක්‍රීඩා කළා වගේ ඔවුන් ඒ මානසිකත්වයෙන් දක්ෂතා දක්වන්න හොඳ ප්‍රෙපරේෂන් එකක් කරගත්තා කියලා. තරග දිනනකොට අපි සියලු දේ හොඳට දකිනවා. තරග පරදින කොට ඒ දේ අපිට දකින්න අමාරුයි. සතියකින් දෙකකින්, මාස දෙකකින් හැමදේම වෙනස් කරන්න බෑ. තරග දිනන්න පටන්ගන්කොට අපේ සුලු වැරැදි මැකිල ගිහිං හොඳ දේවල් ඉස්මතු වෙනවා. ඒකයි දැන් අපිට මේ වාතාවරණය ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන ගොඩක් සතුටුයි.’

එක්දින තරගාවලියේ ජයග්‍රහණය මේ තරගාවලියට හොඳ ආරම්භයක් බවද මාලිංග කියා සිටියේය.

‘අපි කාලයක් තිස්සේ එක දිගට තරග 3ක් දිනන්න හරි අමාරු තත්ත්වයක හිටියේ. ඉතිං ඒ ඉන්න තත්ත්වය අනුව අපි ලබාගත්ත ජයග්‍රහණය ගොඩක් වටිනවා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට. ඒ වගේම ඔවුන්ට එක දිගට තරග වලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. ඉතිං ඒ හැම දේමත් එක්ක බලනකොට ඔවුන් කන්ෆිඩන්ස් පිට ඉන්නවා තරග ජයග්‍රහණය කරන මානසික්තවයෙන්. ඉතිං ඒක ගොඩක් හොඳයි තවත් තරගයකට යනකොට.’ මාලිංග පැවැසීය.

විස්සයි20 ක්‍රීඩාව නිරතුරුවම අභියෝගයක් බැවින් ඒ ඒ අවස්ථාවේදී එම අභියෝග ජයග්‍රහණය කළහොත් දක්ෂතා අතරට පිවිසි හැකි බවත්, තරගය වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිපදෙනකු සිටින බැවින් කොදෙව් පිල අවතක්සේරු කළ නොහැකි බවත් කොදෙව් සංචිතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලිංග පැවැසීය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර

කොදෙව් විස්සයි20 සංචිතය – කිරන් පොලාඩ් (නායක), ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ෂෙල්ඩන් කොට්රල්, ෂිම්රන් හෙට්මේයර්, ෂායි හෝප්, බ්‍රෙන්ඩන් කිං, නිකලස් පූරන්, රෝව්මන් පවේල්, ඇන්ඩ්‍රි රසල්, ලෙන්ඩ්ල් සිමන්ස්, ඔශේන් තෝමස්, හේඩ්න් වෝල්ෂ්, කෙස්රික් විලියම්ස්.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 89 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *