රවි,මහේන්ද්‍රන්, ඇලෝසියස් හා පලිසේන අත්අඩංගුවට ගන්න – නීතිපති නියෝග කරයි

Views: 89

2015-2016 කාලය තුළ පැවැත්වූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇති මූල්‍ය – දූෂණ හා මූල්‍ය – අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තන් බවට හඳුනාගෙන ඇති පුද්ගලයන් ලෙස එවකට මුදල් ඇමැති රවි කරුණානායකත් මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනණුවන් වන (පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධිපති) අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 12 දෙනකු අධිකරණ වරෙන්තු ලබාගෙන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (03දා) පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය.

2015 පෙබරවාරි 01 වැනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා වූ කාලය තුළ පවත්වා ඇති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් හා ඊට අදාළ ගනුදෙනු පිළිබඳව විමර්ශනය කොට විභාග කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා සැසිවාරවලදී හා විමර්ශනවලදීද 2016දී පත්වූ නව අධිපතිවරයාගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන ලද විමර්ශනවලදීද එක්රැස්කොට ගෙන ඇති සාක්ෂි, ලේඛන, වෝහාරික දුරකථන වාර්තා මෙන්ම විමර්ශන ද්‍රව්‍ය හා භාණ්ඩද ශ්‍රී  ලංකා මහ බැංකුවේ විමර්ශන නිලධාරීන් හා පොලිස් දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවන්හිදී රැස්කරගන්නා තොරතුරුද මත ඉහත තැනැත්තන් එකී මූල්‍ය දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවන්ට ඍජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු ගම්‍ය වන බැවින් ඔවුන්ට එරෙහිව කරුණු වාර්තා කොට අධිකරණ වරෙන්තු ලබාගෙන අප්‍රමාදවම ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙලෙස පොලිස්පතිවරයාට නියම කොට ඇත.

2016 මාර්තු 29 වැනිදා හා 2016 මාර්තු 31 වැනි දිනයන්හිදී පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකොට ඇති මූල්‍ය අපරාධමය වරදවල් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386, 398 වගන්ති සමඟ කියැවිය යුතු 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනතේ 5 (1) සහ 5 (2) වගන්ති යටතේත්, 

සංශෝධිත 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 (අ) (1) වගන්තිය සමඟ කියැවිය යුතු මහ බැංකුව විසින් ප්‍රාථමික ගනුදෙනුකරුවන් විෂයෙහිලා නිකුත් කොට ඇති චර්යාධර්ම සංග්‍රහයෙහි (code of conduct)  දක්වා ඇති වැදගත් හෙළි නොකළ යුතු තොරතුරු හෙළි කිරීම හා/හෝ භාවිත කිරීම සම්බන්ධයෙන් (Insider Dealing) සහ වෙළෙඳපොළ මිල තම වාසිය සඳහා කෘත්‍රිමව ඉහළ දැමීමේ හා/ හෝ ඉහළ දැමීමට තැත් කිරීමේ (market manipulation) වරද සිදුකිරීම යටතේත්

එකී වැරැදි සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ එම වැරැදි සිදුකිරීම සඳහා අනුබලදීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බැවින් පහත නම් සඳහන් 12 දෙනාට එරෙහිව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කොට ඔවුන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කොට වරෙන්තු ලබාගෙන වහාම ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සිය ලිපිය මඟින් දැනුම් දී ඇත.

1. සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම

2. රවි කරුණානායක හෙවත් සන්ඩේ්‍රස් රවීන්ද්‍ර කරුණානායක (හිටපු මුදල් ඇමැති)

3. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් (හිටපු මහ බැංකු අධිපති)

4. අර්ජුන් ජෝසප් ඇලෝසියස් (පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අධිපති)

5. කසුන් ඕෂධී පළිසේන (එම සමාගමේ ප්‍රධාන විධායක)

6. ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් (එම සමාගමේ සභාපති වන අර්ජුන් ඇලෝසියස්ගේ පියා)

7. චිත්ත රන්ජන් හුලුගල්ල

8. මුත්තුරාජා සුරේන්ද්‍රන්

9. අජාන් ගාර්දිය පුංචිහේවා

10. තුයිය හැන්නැදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11. සංගරපිල්ලේ පදුමනාදන්

12. බදුගොඩ හේවා ඉන්දික සමන්කුමාර

මෙම වෙන්දේසි දෙකේදී පොදු දේපොළක් වන ශ්‍රී  ලංකා මහ බැංකුව සතු රුපියල් බිලියන 36.98ක (රුපියල් කෝටි 3698ක) හා රුපියල් බිලියන 15ක (රුපියල් කෝටි 1500ක) භාණ්ඩාගාර බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනාව යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 102 හා 386 සමඟ කියැවිය යුතු 1982 අංක 12 දරන පොදු දේපොළ පනතේ 5 (1) වගන්තිය යටතේද 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි 56 (1) (අ) යන වගන්තිය සමඟ කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ), 102 හා 386 යටතේද කටයුතු කළ යුතු බවටද නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 90 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *