කඩොලානටත් වඩා ඔක්සිජන් දෙන මුහුදු පැළෑටි ගැන අලුත් රහසක්

Views: 99

අපට වැඩිපුරම ඔක්සිජන් ලැබෙන්නේ ගහකොළවල, පැළෑටිවල සිදුවන ක්‍රියාවලියක් නිසා යි. එය විද්‍යා භාෂාවෙන් හැඳින්වෙන්නේ ප්‍රභාසංශ්ලේෂණය යනුවෙනි. ගහකොළ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ආහාර නිපදවා ගන්නේ හිරු එළිය සහ කාබන්ඩයොක්සයිඩ් යොදා ගනිමින්. 

මෙම ක්‍රියාවලියේ දී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් මුදාහැරෙන අතර ගස්වැල්වල මෙම ක්‍රියාවලිය නතර වුවහොත් මිනිසුන්ට සත්ත්වයන්ට ජීවත්වීමට නොහැකි වනවා. 

මේ අතුරු කතාවෙන් පටන්ගෙන අප කියන්නට යන්නේ ඔක්සිජන් ගැන වැඩිදෙනකු නොදන්නා කතාවක් ගැනයි.  බොහෝදෙනකු සාමාන්‍යයෙන් සිතන්නේ  අපට හුස්ම ගන්නට වැඩිපුරම ඔක්සිජන් ලබා දෙන්නේ ගොඩබිමේ තිබෙන ගහකොළ බව යි.

නමුත් එය නිවැරදි අදහසක් නොවේ. මහ පොළොව මත වෙසෙන මිනිසුන්ට, සතුන් සිවුපාවුන්ට වැඩිපුරම ඔක්සිජන් ලබා දෙන්නේ මහ සාගරයයි. හරියටම කිවහොත් එහි පවතින සාගර පැළෑටි විශේෂයක්. 

ඉතාම කුඩා, ක්‍ෂුද්‍ර පැළෑටි විශේෂයක් ලෙස සැලකිය හැකි මේවා හැඳින්වෙන්නේ ෆයිටොප්ලෑන්ක්ටන් (Phytoplankton) යන නමින්. සාගර මතුපිටට ආසන්නයේ පවතින මෙම පැළෑටි දිය රළ සමග එහා මෙහා පාවී යනවා. විද්‍යාඥයන් පවසන්නේ මිහිමත ඇති ඔක්සිජන්වලින් සියයට 50ත් 80ත් අතර ප්‍රමාණයක් ලබා දෙන්නේ මෙම ෆයිටොප්ලෑන්ක්ටන් ක්‍ෂුද්‍ර පැළෑටි බව යි. 

මෙයින් පෙනී යන්නේ ගොඩබිම ඇති ගස්වැල්වලින් ලබා දෙන ඔක්සිජන්වලට සමාන ප්‍රමාණයක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් මෙම සාගර පැළෑටිවලින් ලැබෙන බවයි. මෙය සාගර ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම නැවතත් අපට සිහිපත් කරදෙන කාරණයක්ද වනවා.

එමෙන්ම මිනිසුන්ට අහිතකර කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමේදී ද, ඕනෑම ශාකයක්, පැළෑටියක් මෙන්ම මෙම ෆයිටොප්ලෑන්ක්ටන් පැළෑටිද විශාල මෙහෙවරක් ඉටු කරයි. 

මිහිමත ඇති ඕනෑම ශාඛයක් හෝ පැළෑටියක්  ඊට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීමේ දී කාබන්ඩයොක්සයිඩ් උරා ගනියි. මෙය  මිනිසුන්ගේ, සතුන්ගේ සිවුපාවුන්ගේ පැවැත්මට ඉතා අවශ්‍ය වන ක්‍රියාවලියකි. මන්ද යත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩිවුවහොත් එය මිනිසුන්ගේ පැවැත්මට අනතුරක් එල්ල කරන බැවිනි. 

මේ වනවිට ලෝකය මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයක් වන ගෝලීය උණුසුම ඉහළ යාම වැනි තර්ජනවලටද හේතු වී ඇත්තේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීමයි. 

මේ ආකාරයෙන් කාබන්ඩයොක්සයිඩ් වැඩි වන්නේ ගල් අඟුරු, ඛනිජ තෙල්, ගෑස් වැනි ෆොසිල ඉන්ධන දහනය වැඩි වීම, වනාන්තර විනාශය වැනි හේතු නිසා ය.  හිරුගෙන් පෘථිවියට ලැබෙන උණුසුම ආපසු පරාවර්තනය වන්නට නොදී රඳවා ගැනීමේ ගුණයක් මෙම කාබන්ඩයොක්සයිඩ්වල තිබේ. කාබන්ඩයොක්සයිඩ් වැඩි වූ විට ගෝලීය උණුසුම ඉහළ යන්නේ මේ නිසාය. 

කාලගුණික විපර්යාසවලටත්, ඒ නිසා හටගන්නා දරුණු ස්වාභාවික විපත් ආදියටත් මෙම ගෝලීය උණුසුම වැඩි වීම වගකිවයුතු බව බොහෝ විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.  කෙසේ හෝ වේවා, වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අඩු කිරීමේ ක්‍රියාවලියේදී කලින් සඳහන් කළ ලෙසම  ෆයිටොප්ලෑන්ක්ටන්  පැළෑටි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. 

ඒවා සිය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ දී සාගර ජලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගන්නා අතර එයින් ඇති වන අඩුව පිරිමසා ගැනීම සඳහා සාගර ජලය වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගනියි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අඩු කිරීම සඳහා සාගරවල ඇති ෆයිටොප්ලෑන්ක්ටන් තව  තවත් වැඩි කළ යුතු බවට ද අදහස් ඉදිරිපත් වී තිබේ.

සාගරයේ සමහර ඉසව්වල මෙම ක්‍ෂුද්‍ර පැළෑටි හුදෙක් මතුපිට පමණක් පාවෙමින් ඇති බවත්, සමහර තැන්වල සාගරය මතුපිට සිට අඩි තුන් හාරසීයක් යටට විහිදෙමින් පාවෙන බවත් සඳහන් වේ.  ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ මිනිස් සංහතියේ පැවැත්ම සඳහා මෙම කුඩා මුහුදු පැළෑටිවලින් ලැබෙන සහායට නිසි ඇගයීමක් ලැබී නැති බවයි!

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 401 - Today Page Visits: 3
Comments: 0

Your email address will not be published. Required fields are marked with *