වසර 15ක අපරාජිත වාර්තාව ලංකාව රැකගනී

Views: 56

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග පුර්ණ තරඟාවලි ජය මේ ආකාරයට ශ්‍රී ලංකාව සතුවුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 307ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 65කට කඩුලු 4ක් බිද හෙලුවා.

කොදෙව්වන්ට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් අවසන් එක්දින ඉනිම් හතරේ දී ම ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව පසු කර යාම විශේෂත්වයක්.

කිසිදු පිතිකරුවෙකු ලකුණු 55 සීමාව පසු නොකර කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය බව සදහන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 301ක් පමණයි.

ෂේයි හෝප් ලකුණු 72ක්, සුනිල් අම්බ්‍රිස් ලකුණු 60ක් සහ නිකලස් පූරාන් ලකුණු 50ක් රැස් කළා.

ෆේබියන් ඇලන් පන්දු 15කින් වේගවත් ලකුණු 37ක් රැස් කළ නමුත් එය කොදෙව්වන්ට තරගය ජය ගැනීම සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 59කට කඩුලු 4ක් බිද හෙලුවා.

කොදෙව් කණ්ඩායමක් අවසන් වරට මෙරට දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ 2005 වසරේ දී වීම විශේෂත්වයක්.

ඒ අනුව වසර 15කින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගැනීමට හැකි වී නැහැ.

අවසන් තරගයේ වීරයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් සම්මාන දිනා ගත් අතර, වනිදු හසරංග තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 53 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *