වයිරසයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවයි

Views: 67

කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවා ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

74,000ක් පමණ පිරිසක් ආසාදිත තත්වයෙන් පසුවෙති.

වයිරසය හේතුවෙන් මිලියන 56ක පමණ  පුද්ගලයන්  සංඛ්‍යාවක් තවමත් හුබෙයි සහ වූහාන්වල සිය වාසස්ථානවල සිරවී, රැඳී සිටින බව බලධාරීහු කීහ.

ජපානයේ යොකොහොමාහි ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් අතරින් වයිරසය ආසාදනය වී නැති බව කියන පිරිස අද නෞකාවෙන් පිටත්කර හැරීමට එහි කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටිති. 

කෙසේවෙතත්, චීන බලධාරීන් පැවසුවේ වයිරසය ආසාදනය වීමේ  තත්වය සාමාන්‍ය අගයක් ගන්නා බවයි. මරණ අනුපාතය පහළ යමින් පවතින බව නිරීක්ෂණය කළ බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු පැවසුහ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සමග පැවති දුරකතන සංවාදයකදී චීන ජනපති ෂී ජින්පින් මහතා පවසා ඇත්තේ, වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් මේවනවිට යම්  ප්‍රගතියක් අත්පත් කරගෙන සිටින බවය.

මේ අතර වයිරසය ව්‍යාප්තවීම නැවැත්වුවේ නැතිනම් අදාළ නිලධාරීන්ට දඬුවම් දෙන බව චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ පාලකවරු දන්වති.

”මිනිස් ජීවිත වලට වඩා වැදගත් කිසිවක් තියෙන්න විදියක් නැහැ. අදින් පසුව එක රෝගියකු හෝ වාර්තා වුණොත් දිස්ත්‍රික්කයේ බලධාරීන් ඒ ගැන වගකිව යුතුයි” යැයි වූහාන්හි කොමියුනිස්ට් පක්ෂයේ නව ලේකම් වුන් ෂොන්ග්ලින් මහතා පවසා තිබේ.

(ඒඑෆ්පී/ අල්ජසීරා)

Total Page Visits: 493 - Today Page Visits: 3
Comments: 0

Your email address will not be published. Required fields are marked with *