කොරෝනා නිසා චීනය මුදල් නෝට්ටුවට කරන දේ!

Views: 58

‘කොවිඩ්-19’ යන නිල නමින් හැඳින්වෙන නව කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා චීනය දිනෙන් දින අලුත් පියවර අනුගමනය කරමින් සිටියි. 

එවැනි අලුත් උපායක් ගැන පසුගිය සෙනසුරාදා ද මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. 

එයින් කියැවුණේ එරට සංසරණය වන මුදල් නෝට්ටු පවා විෂ බීජ හරණය කිරීමට චීන මහ බැංකුව පියවර ගෙන ඇති බවකි. 

‘කොවිඩ්-19’ ආසාදිතයන් විසින් පරිහරණය කරනු ලබන භාණ්ඩ මඟින් ද වයිරසය බෝවීමට හැකියාවක් ඇති බව රහසක් නොවේ. 

මුදල් නෝට්ටු මෙහි දී විශාල අවදානමක් මතු කරන බව එරට බලධාරීන්ගේ විශ්වාසයයි. ඉහත කී ආකාරයේ පියවරක් අනුගමනය කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ මේ නිසාය.

මේ අනුව පාරිභෝගිකයන් විසින් තැන්පත් කරනු ලබන මුදල් නෝට්ටු විසබීජ හරණයට ලක් කර, දින 7 සහ 14 අතර කාලයක් නැවත නිකුත් නොකර තබා ගන්නා ලෙස චීනයේ මහ බැංකුව සියලු බැංකුවලට උපදෙස් දී ඇත. එම නෝට්ටුවල වයිරසය තැවරී ඇත්නම් මේ ක්‍රමය මඟින් එය පැතිරීම වැළැක්වීමට ඔවුහු බලාපොරොත්තු වෙති. අජීවී වස්තූන් මත වයිරසයේ ආයු කාලය උපරිම වශයෙන් දින 14ක් බව විශ්වාස කෙරේ. 

මුදල් නෝට්ටු මේ ආකාරයෙන් විසබීජ හරණය කිරීම සඳහා පාරජම්බුල කිරණ භාවිත කරන බැව් සඳහන් වන අතර ඇතැම් අවස්ථාවල අධික උෂ්ණත්වයට නිරාවරණය කිරීම මඟින් ද විසබීජ හරණය කෙරෙන බැව් වාර්තා වෙයි. මේ අතර හැකි සෑම විටෙකම අලුත් මුදල් නෝට්ටු ජනතාව වෙත නිකුත් කරන මෙන් ද මහ බැංකුව උපදෙස් දී තිබේ. පසුගිය දිනවල යුවාන් බිලියන 4ක අලුත් නෝට්ටු තොගයක් නිකුත් කිරීමට ද එම බැංකුව පියවර ගෙන තිබිණි. මේ සියල්ලෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මුදල් නෝට්ටු  හරහා නව කොරෝනා වයිරසය පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි.

මේ අතර එරට ගොඩනැඟිලිවල විදුලි සෝපාන තුළ ටිෂූ පැකැට්ටු තැබීමට ද බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම විදුලි සෝපාන ක්‍රියා කරවන බොත්තම් ආදිය ඇල්ලීමේ දී එම ටිෂූ කඩදාසි පාවිච්චි කරන මෙන් ජනතාවට උපදෙස් සපයා ඇත. විදුලි සෝපානවල බොත්තම් ආදිය හරහා ද වයිරසය බෝවීමට ඇති ඉඩකඩ පසුගිය දිනවල අවධානයට ලක් වූ කාරණයකි.

කෙසේ හෝ වේවා, මේ වනවිට චීනය තුළ වයිරසයේ පැතිරීමෙහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බැව් වාර්තා වෙයි. පසුගිය සිකුරාදා (14දා) දින සිට ඉරිදා (16දා) දින දක්වා එක දිගට දින තුනක් එහි අලුතෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අඩු වෙමින් තිබිණි. සිකුරාදා අලුත් රෝගීන් 5,090 දෙනකු වාර්තා වී තිබූ අතර සෙනසුරාදා සහ ඉරිදා වාර්තා වී තිබුණේ පිළිවෙළින් රෝගීන් 2,641ක් සහ 2,009ක් වශයෙනි. චීන බලධාරීන් පවසන්නේ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඔවුන් විසින් ගනු ලැබූ දැඩි පියවර පල දරමින් ඇති බැව් ඉන් පෙනී යන බවයි. නමුත් තවදුරටත් එවැනි දැඩි පියවර ගැනීම අඩු කර නොමැති අතර ඔවුහු දිගින් දිගටම විවිධ අලුත් උපායන් හඳුන්වා දෙමින් සිටිති. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි පාර්ශ්ව පවසන්නේ රෝග ව්‍යාප්තියේ අඩුවීම ගැන තවමත් ස්ථිර විශ්වාසයක් තැබිය නොහැකි බවය. කොයි මොහොතක හෝ නැවතත් එහි වැඩිවීමක් ඇති විය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ නිසා සියලු රටවල් මේ ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බව එම සංවිධානය දිගින් දිගටම අවධාරණය කරමින් සිටියි. චීනය තුළ පෙරට වඩා යම් සතුටුදායක තත්ත්වයක් දක්නට ලැබුණ ද රෝගය පැතිරී ඇති ඇතැම් රටවල තත්ත්වය එතරම් සුබදායක නොවන බවක් පෙනී යයි. චීනයට පිටතින් රෝගීන් වැඩිම ගණනක් වාර්තා වී ඇති ජපානය, සිංගප්පූරුව වැනි රටවල දක්නට ඇත්තේ එතරම් සතුටුදායක තත්ත්වයක් නොවේ. විශේෂයෙන් ජපානයේ යොකොහාමා වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ (දියමන්ති කුමරිය) නෞකාව තුළ පවතින තත්ත්වය සෞඛ්‍ය අංශ තුළ යම් ආතතියක් හා නොසන්සුන්කමක් ඇති කර තිබෙන බව පෙනේ. 

සඳුදා (17දා) වනවිට මෙම නෞකාවෙන් හමු වී තිබූ රෝගීන් ගණන 355කි. දිනෙන් දින අලුත් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබේ. එහි මගීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් 3,700කට වැඩි පිරිසක් රැඳී සිටින අතර ඔවුන් සියලු දෙනා දැඩි අනතුරකට මුහුණ දී සිටින්නන් බව අමුතුවෙන් කිව යුතු නැත. නැවක් වැනි කුඩා වපසරියකින් යුතු තැනක වේගයෙන් පැතිරෙන වයිරසයකින් සිදුවිය හැකි විනාශය ඉතා විශාලය.

කෙසේ හෝ වේවා, මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ නෞකාවෙහි සිටින සිය රටවලට අයත් වැසියන් ඉන් ඉවත් කර ගැනීමට ඇතැම් රටවල් පියවර ගනිමින් සිටින බවයි. මේ අනුව පසුගිය ඉරිදා ඇමෙරිකාව ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ හි සිටි ඇමෙරිකානුවන් 380 දෙනකු මේ ආකාරයෙන් ඉන් ඉවත් කරගැනීමට කටයුතු කළේය. ඔවුන් විශේෂ ගුවන් යානා දෙකක් මඟින් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි ගුවන් හමුදා කඳවුරක් වෙත රැගෙන එන ලදී. දින කිහිපයක් යනතුරු ඔවුන් එහි නිරෝධායනයට ලක් කිරීමට නියමිතය. මේ අතර නෞකාවෙහි සිටි වයිරසය ආසාදනය වී තිබූ ඇමෙරිකානුවන් 40 දෙනෙක් මේ වනවිට ජපානයේ ප්‍රතිකාර ලබමින් සිටිති. නෞකාවෙහි සිටින මගීන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් අතර රටවල් 56කට අයත් උදවිය සිටින බැව් වාර්තා වෙයි. හොංකොං සහ කැනඩාව ද තම රටවලට අයත් පිරිස නෞකාවෙන් ඉවත් කරගැනීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බව සඳහන්ය.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 58 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *