ආරක්ෂක උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මි. 50ක්

Views: 72

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙරට ආරක්ෂක හමුදාවන්ට උපකරණ මිලට ගැනීමට ඩොලර් මිලියන 50ක් ලබාදීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (18) පැවැති හමුවේ දී මෙම කරුණු අනාවරණය විය. ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වර්ධනයට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අවධාරණය කරයි.

ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රිකාරීත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රී ය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ද ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඩොලර් මිලියන 50ක් සපයන බව ද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Total Page Visits: 79 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *