වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුවේ අවධානයට ලක් නොවූ කරුණු පිළිබඳව පරීක්ෂණයක්!

Views: 53

මවුවරුන් වඳභාවයට පත්කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කළ පරීක්ෂණවලට අමතරව ඇස නොගැසුණ සහ අවධානයට ලක් නොවූ කරුණු පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි  විජිත පෙරේරා මහතා ඊයේ (16දා) කුරුණෑගල දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවසීය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ සාෆි ෂෙහාබ්දීන්, සිංහල මවුවරුන් වඳභාවයට පත්කිරීම පිළිබඳව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයා මෙසේද පැවසීය.

මේ වන විට මවුවරුන් 76 දෙනකුගෙන් ලබාගත් ප්‍රකාශ ඇමුණුම 1 ලෙසත් පෙර ප්‍රසව හා පසු ප්‍රසව පිළිබඳ 79 දෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර එම ඇමුණුම 2 ලෙසත්,  මවුවරුන් නව දෙනකුගේ පැමිණිලි අලුතින් ලැබී ඇති අතර එම ඇමුණුම 3 ලෙසත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඉහපත් අංක මාරු කර, දරුවකු මාරු කිරීම සම්බන්ධ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට  ඉදිරිපත් කළ බවත් හෙතෙම පැවසීය.

වෛද්‍යවරයා සතු දේපළ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමම විමර්ශනයක් සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ගලේවෙල හා දඹුල්ල රෝහල්වල වෛද්‍ය සාෆි සේවය කළ කාලයේ සිදුකළා යැයි පවසන සීසෙරියන් සැත්කම් පිළිබඳ  පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

සාෆි වෛද්‍යවරයා විසින් ශානි අබේසේකර ඇතුළු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන්ට භාරදී තිබූ හඬපට  උසාවි නියෝගයකින් තොරව විත්තිකරු භාරදී ඇති බවත් එම CCTV දර්ශන නැවත වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස නියෝග කරන ලෙසත් අධිකරණයෙන් ස.පො.ප. විජිත පෙරේරා මහතා ඉල්ලීමක් කළේය.

අගතියට පත් මවුවරුන් 869 දෙනකු පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින්  පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වෛද්‍ය පීඨයේ  නිර්දේශයන්ට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා කාලයක් ලබා දෙන ලෙස ස.පො.ප. වරයා විශේෂ ඉල්ලීමක්ද කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

අලුතින් නිරීක්ෂණ ආරම්භ කරනවා කියන්නේ කුමක්ද? කලින් කරන ලද පරීක්ෂණ පිළිගත නොහැකිද? අඩුපාඩු සහිතද?

මේ වන විට 869 දක්වා වැඩි වෙලා. මේක මහා ඛේදවාචකයක්.  දඹුල්ල ගලේවෙල පරීක්ෂණ වාර්තා මෙච්චර කල් තිබුණා.  සාමාන්‍ය ක්‍රමවේදය විත්තිකරුවකු අත්අඩංගුවට ගන්නා විට සාක්ෂිකරුවන් සිටිය යුතුයි. මෙහි විශේෂත්වය විත්තිකරු  අත්අඩංගුවට ගෙන සාක්ෂි සෙවීමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිඅරගෙන තියෙනවා බලපෑම් මත ක්‍රියා කළ බව.

CCTV  දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න පුළුවන්.

විත්තියේ නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සාෆි වෛද්‍යවරයාගේ බිරිය හා දරුවන් කල්මුණේ ප්‍රදේශයේ ජීවත් වන බැවින් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේ විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම ඉටු කළහොත් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගවලට නරක පූර්වාදර්ශයක් වන නිසා අධිකරණය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

2020 ජනවාරි 20 ට පෙර CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර  පසුගිය නඩු වාරයේදී අධිකරණ භූමියට විත්තිකරු නීතිඥයකුගේ  වාහනයකින් රැගෙන ඒම,  පිටවීම සදාචාරාත්මක නොවන බවට සහ නැවත එසේ නොකරන ලෙසට දැඩි සේ අවවාද කළේය.

නැවත නඩු විභාගය 2020 මාර්තු 17 දින කැඳවන බව මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, නීතිඥ චානක අබේවික්‍රම, හිල්මි උයන්වත්ත,  අජිත් එදිරිසිංහ, සමන් දිසානායක, සමාදි සෙනෙවිරත්න, වික්‍රමසිංහ ද සොයිසා. ප්‍රියංකර ඩයස් සහ ඉන්ද්‍රජිත් සේනාරත්න සහ විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර, ජේ‍යෂ්ඨ ජනාධිපති නීතිඥ ෂෙරාස් සුහදීන්,  නීතිඥ රිෆිනාස් මොහොමඩ්, නීතිඥ පෂන් වික්‍රමසිංහ , රෂිලා සේනාධීර මිය සහ අෂාන් නවරත්න මෙන්ඩිස් මෙම නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටියහ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 56 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *