තාරකා හරහා ඇදී එන තවත් අමුත්තෙක්?

Views: 71

සෞර ග්‍රහ මණ්ඩලයෙන් බැහැර සිට ඇදී එන ධුමකේතුවක් (වල්ගා තරුවක්) සොයා ගැනීමට ආධුනික තාරකා විද්‍යාඥයෙක් සමත් වී සිටී.

එය එසේ වන්නේ නම්, 2017 වසරේදී හඳුනාගන්නා ලද ‘ඔවුමුවාමුවා’ (Oumuamua) ලෙසින් නම් කරන ලද දිගැටි හැඩයෙන් යුතු ග්‍රහ වස්තුවට පසුව බැහැරින් ඇදී එන දෙවැනි ග්‍රහ වස්තුව වේ.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සුළු ග්‍රහතාරකා මධ්‍යස්ථානය (MPC) මේ සොයා ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් ද නිකුත් කර ඇත.

මෙහි පෙනෙන්නට ඇතැයි සැළකෙන ‘බහුවලයික’ (hyperbolic) කක්ෂයක ස්වභාවය හේතුවෙන් එය වෙනත් ග්‍රහ පද්ධතියකින් පැමිණෙන්නක් බව දක්නට ලැබේ.

බහුවලයික කක්ෂයක් යනු, පූර්ණ වෘත්තයකට වඩා සැලකිය යුතු ලෙස වෙනත් හැඩයක් ගන්නා විකේන්ද්‍රිකතාවකින් යුක්ත වූවකි.

පූර්ණ වෘත්තයක විකේන්ද්‍රිකතාව 0 කි. බොහෝ ග්‍රහලෝක, ග්‍රාහක හා ධුමකේතුවල ඉලිප්සාකාර කක්ෂවල (elliptical orbits) දක්නට ඇති විකේන්ද්‍රිකතාව 0 සහ 1 අතර වේ.

අලුතින් සොයාගන්නා ලද ග්‍රහ වස්තුව (මුලදී gb00234 ලෙස නම් කෙරුණද දැන් එය හඳුන්වන්නේ Comet C/2019 Q4 (බොරිසොෆ්) නමිනි) පිළිබඳ දැනට කෙරෙන නිරීක්ෂණවලට අනුව එහි 3.2 ක විකේන්ද්‍රිකතාවක් ඇතැයි කියැවේ.

ආධුනික තාරකා නිරීක්ෂකයකු වන ගෙනාදි බොරිසොෆ් විසින් මේ ග්‍රහ වස්තුව නිරීක්ෂණය කරනු ලැබුවේ පසුගිය මස (අගෝස්තු) 30 වෙනිදා ය. බක්චිසරයි හි ක්‍රිමියානු තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරයේදී මේ සොයාගැනීම කෙරිණි.

ඒ වන විට, එය සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක තුනක් (කිලෝමීටර මිලියන 450ක් පමණ) දුරින් පිහිටියේය.

2017 ඔක්තෝබර් 19 වෙනිදා සොයාගත් ‘ඔඋමුවාමුවා, එහි බහුවලයික පරාවක්‍රය පදනම් කරගෙන මුලදී නිර්ණය කෙරුණේ ධුමකේතුවක් ලෙසිනි. එහෙත්, තවදුරටත් කරන ලද නිරීක්ෂණවලදී පෙනෙන්නට වූයේ ධුමකේතුවක න්‍යෂ්ටිය වටා ඇති කෝමාව නමින් හැඳින්වෙන ආවරණයේ ලකුණක් හෝ දක්නට නැති බවය. ඒ අතින් ගත්විට, කෝමාව හා වලිගය පේන්නට ඇති C/2019 Q4 (Borisov) ක්‍රියාකාරී ධූමකේතුවකි.

කුඩා එමෙන්ම අපැහැදිලි ‘ඔඋමුවාමුවා සමග සැසඳීමේදී අලුත් ග්‍රහ වස්තුව ඉතා විශාල වන අතර (කිලෝමීටර 20ක් පමණ පළලින් යුතුය) දීප්තියෙන් වැඩිය.

මීට අමතරව ‘ඔඋමුවාමුවා නිරීක්ෂණය කරනු ලැබුවේ සුර්යයාට සමීපම ස්ථානය (perihelion – සූර්ය සමීපක) පසුකිරීමෙන් අනතුරුවය. ඒ අනුව, එය තාරකා විද්‍යාඥයින්ට අදාළ ග්‍රහ වස්තුව සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට තරම් සමීපව එය දැකගැනීමට ප්‍රමාණවත් නොවිණි. මේ අතර, C/2019 Q4 (Borisov) ග්‍රහ වස්තුව තවමත් අපගේ සෞර ග්‍රහමණ්ඩලය කරා ඇදී එමින් පවතින අතර දෙසැම්බර් 10 වෙනිදා වනතෙක් සූර්ය සමීපක දුරට ළඟා නොවනු ඇත.

මේ පිළිබඳ පසුවිපරම් නිරීක්ෂණවල යෙදෙන ලෙස සුළු ග්‍රහතාරකා මධ්‍යස්ථානය (MPC) තාරකා විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. “අනපේක්ෂිත වියකීමක් හෝ මග වෙනස්වීමක් නොවුවහොත් වසරක කාලයක්වත් [C/2019 Q4] නිරීක්ෂණය කරන්නට හැකි වේවි” යැයි එම මධ්‍යස්ථානය පවසා තිබේ.

ඈත එපිට වූ තාරකාවක් ආශ්‍රයෙන් පැමිණෙන ග්‍රහ වස්තුවක තත්ත්වය වර්ගීකරණය සඳහා නිරීක්ෂකයින්ට මෙය සිත් බඳන අවස්ථාවක් උදා කරයි.

“ස්වභාවය අනුව – ග්‍රහකයක්ද, ධූමකේතුවක්ද යන විවාදයට මැදිවූ ‘ඔඋමුවාමුවා වගේ නොවෙයි, මේක ඇත්තෙන්ම ධූමකේතුවක්,” යනුවෙන් වොෂිංටන් අගනුවර නාවික පර්යේෂණ විද්‍යාගාරයේ තාරකා භෞතික විද්‍යාඥ කාර්ල් බැටම්ස් ට්විටර් සටහනක් තබා තිබිණි.

“නිසැකවම මෙය සෞර ග්‍රහ මණ්ඩලයට බැහැරින් එන දෙයක් නම්, අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ම ආ ධූමකේතු වර්ගය හා සංසන්දනය කරනවිට මෙහි සංයුතිය කෙබඳුදැයි දැනගැනීමට ලැබීම සිත්ගන්නාසුළු වේවි.”

මේ ග්‍රහ වස්තුව නිරීක්ෂණය කළ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්ටෝනියෝ හි පිහිටි නිරිතදිග පර්යේෂණ ආයතනයේ තාරකා භෞතික විද්‍යාඥ සයිමන් පෝර්ටර් සඳහන් කළේ “මෙවැනි දීප්තිමත් කෝමාවක් නිසා, හි අලංකාර දැක්මක් ලබාගැනීමට හැකිවනවා සේම සමස්ථානික අනුපාතය ගණනය කරන්නට හැකිවෙතැයි අපේක්ෂා කරනවා.”

සමස්ථානික නම්, එකම රසායනික මූලද්‍රව්‍යයේ විවිධ ස්වභාව වේ. පෝර්ටර් වැඩිදුරටත් සඳහන් කළේ, එම අනුපාත සෞරග්‍රහ මණ්ඩලයේ ධූමකේතුවලට වඩා වෙනස් විය හැකි බවකි.

(බීබීසී ප්‍රවෘත්ති වෙබ්අඩවියේ විද්‍යා කටයුතු පිළිබඳ සංස්කාරක පෝල් රින්කන් ගේ ලිපියක් ඇසුරිණි)

Total Page Visits: 155 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *